Friday, August 29, 2008

සත්‍යය කටුකය ඵ්නිසා අපි ඇත්ත කතා නොකර ඉඳිමුද ?

සුදර්ශන ගුණවර්ධන

අද අප ජීවත් වන්නේ ධනවාදී සමාජයක බව උවමනාවෙන්ම අමතක කරන විචාරකයෙකු උතුරු මැද හා සබරගමු පළාත් සභා සඳහා පැවැත්වුණු මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු එළඹෙන නිරීක්ෂණ පහත පරිදි වේ.

1. මෙය ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයකි.
( මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසු සෑම පුවත්පතකම මුල් පිටුවේ පළ කළේ බර්ටි පේ‍්‍රමලාල් මහතාගේ හෝ මහීපාල හේරත් මහතාගේ ඡායාරූප නොව ජනාධිපති වරයාගේ ඡායාරූපය.)ජනාධිපතිතුමා ප‍්‍රකාශ කර ඇත්තේ මෙය මගේ ජයග‍්‍රහණයක් නොව මව්බිමේ ජයග‍්‍රහණයක් බවයි. (මාගේ මේ ව්‍යායාමය කිසිකලෙකත් රජ සැප පිණිස නොවන්නේ ය. සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය පිණිස වන්නේය.)

2. මෙය යු.ඇන්.පීය ලැබු පරාජයකි. එයට හේතුව එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දුර්වල නායකත්වයයි. ( සිරිත් පරිදි රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කළ යුතු බව කියන පරණ තැටිය නැවතත් වාදනය වෙන්න පටන් ගෙන ඇත. රජයේ මාධ්‍ය ඊට සංගීතය සපයයි.)

3. මෙය ජනතා විමුක්ති පෙරමුණ ලැබු විශාල පරාජයකි. මෙයට හේතුව විමල් වීරවංශ මහතා පක්ෂයෙන් ඉවත් කිරීමයි. (විමල් වීරවංශ මහතා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා පක්ෂ නායකත්වයට ඉල්ලා අස් වී ඊළඟ සාමාජිකයාට පක්ෂය භාර දෙන ලෙස කියා ඇත. මේ සමගම යු. ඇන්.පී නායකත්වයට ඉල්ලා අස්වෙන ලෙස කියන රාජිත සේනාරත්න මහතාගේ එක වල්ලේ පොල් ගෙඩියක් බවට විමල් වීරවංශ මහතා පත්ව ඇත.)

අපේ අදහස ඉහත මත තුනම වැරදි බවයි.

ඉහත මත තුනට එළඹෙන අය පැමිණෙන තවත් නිගමන 02ක් තිබේ.
(අ) මෙය මහින්ද රාජපක්ෂතුමාගේ (මෙය ගුණදාස අමරසේකර මහතාගේ වචනයකි.) පෞද්ගලික ජයග‍්‍රහණයකි.
(ආ) පන්තිය අභිබවා ජාතිය ලබා ගත් ජයග‍්‍රහණයකි.

අපට අනුව ඉහත දේශපාලන මතවාද දෙක ද වැරදිය.ඇයි අපි එහෙම කියන්නේ ?

අප යෝජනා කරන්නේ, මේ මැතිවරණ ප‍්‍රතිඵල මඟින් පෙන්නුම් කරන්නේ, සිංහල මිනිසා (සහ ගැහැණිය) තම සිංහල ඡන්දය පාවිච්චි කොට යුද්ධය මත තමන්ට තිබු තීරක බලය හෙවත් තීරණ ගැනීමේ හැකියාව ඉවර කරගත් බවයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එම තීරක බලය ප‍්‍රභාකරන් අතට පත් වී ඇත ; එනම් දකුණෙන් උතුරට මාරු වී ඇත.

(මෙහිදී අලි අමාරුවක වැටුණේ නිරීක්ෂකයන්ය. ඔවුන් කල්පනා කරන්නට ඇත්තේ, ඡන්දය සාධාරණව පැවැත්වුණොත් සිංහල මිනිසා ප‍්‍රභාකරන්ට එරෙහිව කරන යුද්ධයට විරුද්ධව ඡන්දය දෙනු ඇතැයි කියාය. නමුත්, ප‍්‍රභාකරන් එසේ විශ්වාස කොට නැත.)

නැගෙනහිර දී සහ වන්නියේ බටහිර පෙරමුණේ දී හමුදාව ලබාගත් ජයග‍්‍රහණ සමඟ තම යුද්ධ බැලූම් බෝලය දැන් උපරිම මට්ටමට පිම්බී ඇති බව මහින්ද රාජපක්ෂතුමා දන්නේය. එතුමා පමණක් නොව තවත් බොහෝ දෙනෙකු ද එය දනී. මේ නිසා බොහෝ දෙනෙක් මේ වේදනාවෙන් ගැලවෙනු පිණිස එල්.ටී.ටී.ඊය නැති අනාගතයක් පරිකල්පනය කිරීමට පටන් ගෙන ඇත. මේ නිසා කොළඹ පිහිටා ඇති ‘සාමය’ පිළිබඳ කටයුතු කරන ආයතනයක් ‘එල්.ටී.ටී.ඊ.යට පසු තත්ත්වයක් යටතේ (එල්. ටී.ටී.ඊ.ය නැති රටක් ) ගැටුම් නිරාකරණය ගැන’ දේශනයක් පැවැත්වීමට යුධවාදියෙකුට ආරාධනා කර ඇත. අපේ මිතුරු විකල්ප මාධ්‍යවේදියකු ළඟදී යාපනයේ කළ සංචාරයකින් පසුව අපට පැවසුවේ එල්.ටී.ටී.ඊ යේ පරාජය යාපනයේ ජනතාවද අපේක්ෂා කරන බවයි. ඵ් අනුව තව ටික දවසක් යුද්ධය ඉදිරියට ගිය පසු ප‍්‍රභාකරන් ඇතුළු නපුරු කොටි රැළ විදේශ රටකට පළා යාමට නියමිතය. ඉතිරි වන සුසේයි, කරුණා සමඟ ඞීල් එකක් දමාගෙන රජය සමඟ එකඟතාවයකට එනු ඇත. ඊළඟට සුසේයි ගේ දෙවෙනියා අනාගත උතුරු පළාත් සභාවේ මහ ඇමති වන අතර සුසේයිද කරුණා සමඟ පාර්ලිමේන්තු මට නියමිතය. එවිට සාමවාදීන් සහ යුධවාදීන් අතර වෙනසක් නැතිවන අතර අපි කාටත් කරට අතදාගෙන සංවාද කරමින් දෙයියනේ කියා නිදහසේ ජීවත්විය හැකිය.

නමුත්, සියළු දෙනා විසින්ම අමතක කිරීමට තැත් කළද, දර්ශන පථයෙන් ඉවත් කිරීමට තැත් කළද, ප‍්‍රභාකරන් නැමැති දියයට ගිය රබර් බෝලය නැවත මතු විය හැකිය. එසේ මතු වී ශ‍්‍රී ලංකා යුධ හමුදාවට තීරණාත්මක හානියක් කළහොත් හෙවත් උපරිම මට්ටමට පිම්බී ඇති තම යුද්ධ බැලූමට ඇල්පෙනෙත්තකින් ඇන්නොත් සියල්ල කපෝති වන බව මහින්ද රාජපක්ෂතුමා දනියි.

මේ උභතෝකෝටිකයෙන් ගැලවීමට ගතහැකි පියවර 02ක් ඇත.
01. කිලිනොච්චියට ළඟාවීමට ඇති කිලෝමීටර් 12 රබර් හැතැප්ම බවට පත් කිරීම. මෙමඟින් යුද්ධය චුයිංගම් එකක් බවට පත් කළහැකිය.
02. තමන් බටහිර රටවල් ඉදිරියේ කෙළින් හිටගත් බවත්, සටන් විරාම ගිවිසුම අහෝසි කර නෝර්වේ ගෙදර යැවු බවත්, නැගෙනහිර ජයගත් බවත්, උතුරත් ජය ගනිමින් ප‍්‍රභාකරන් ද මට්ටු කළ බවත්, සිංහල ජාතිවාදීන් (විමල්, චම්පික) ආණ්ඩුව ඇතුළට ගත් බවත්, ඉතුරු වු ජාතිවාදීන්ගේ (ජවිපෙ) හුළං බැස්සු බවත් ප‍්‍රකාශ කර නැවතත් සාම ක‍්‍රියාවලියක් ආරම්භ කළ හැකිය. (සාම ක‍්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා සටන් විරාමයක් තිබීම අනිවාර්ය නොවන බව කරුණාවෙන් සලකන්න.)

පළමු විකල්පය ‘රාජා හෝ මා හෝ ගංගා හෝ ’ වර්ගයේ එකකි. එය අනතුරුදායක වන අතර, එමඟින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අළුත් මිතුරන් සහ ආධාර උපකාර ලබා නොදේ. අනෙක් අතට දෙවන විකල්පය ක‍්‍රියාත්මක කිරීමෙන් බටහිර රටවල සහ ඉන්දියාවේ ආශීවාර්දය සහ සහයෝගය උඩින්ම ලැබෙන අතර, ආණ්ඩු බලය හෝ ආණ්ඩුවේ ආශිර්වාදය නැතිවීම නිසා නන්නත්තාර වී සිටින විශාල පිරිසකට රෙදිත් ඇඳගෙන සාමයේ නාමයෙන් ආණ්ඩුවට ඇතුළු වීමට ලයිසන් එකක් ලැබෙනු ඇත.

අප අදහස ආණ්ඩුව ඊළඟට ගමන් කරන්නේ පළමු විකල්පය වන යුද්ධය සඳහා නොව දෙවන විකල්පය වන සාම ක‍්‍රියාවලියක් සඳහා වන බවයි. එයට විරුද්ධව සිටි යුදවාදීන්ට ආණ්ඩුවෙන් ඉවත් වී විරෝධය පළ කිරීමට ඇති හැකියාව සීමිතය. හේතුව ආණ්ඩුව සමඟ අවුරුදු තුන හතරක් එක ඇඳේ නිදා ගැනීම නිසා සහ උදේට ඉඳි ආප්ප කෑම නිසා එළියට බහින්න බැහැ. මෙය මෙසේ වීම සඳහා බලපෑ හැකි ජාත්‍යන්තර සාධක තුනක් ඇත.

01. ලංකාවේ ත‍්‍රස්ත මර්දන මෙහෙයුමට කොන්දේසි විරහිතව ආධාර කළ පකිස්ථානයේ හමුදා ඵ්කාධිපති පර්වේස් මුෂාරෆ්ට ගෙදර යාමට සිදුවීම හා ඡන්දයෙන් පත් වු අස්ථාවර සභාගයක් බලයට පත් වීම. ( එමඟින් පකිස්ථානු ISI ඔත්තු සේවයේ බලය පාලනය වී කලාපීය දේශපාලනය තුළ ඉන්දියානු බලය ශක්තිමත් වනු ඇත.)
02 ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දියාවේ මහ මැතිවරණය කොංග‍්‍රසය, විකල්ප ජේ.වී.පීය සහ වමේ පෙරමුණ අතර තුන් කොන් සටනක් වීමේ ඉඩකඩ හේතුවෙන් තමිල්නාඩු දේශපාලන සාධකයට වැඩි කේවල් කිරීමේ ශක්තියක් ලැබීම.
03. ඇමෙරිකානු ජනාධිපතිවරණයත් සමඟම ජෝර්ජ් බුෂ්ගේ අට අවුරුදු පාලනය අවසන් වීම සහ ඉන්පසු ඩිමොක‍්‍රටික් පක්ෂයේ බැරක් ඔබාමා බලයට පත් වීමට වැඩි ඉඩක් තිබීම. ඵ් සමඟම ජාත්‍යන්තර වශයෙන් බුෂ්ගේ ‘ත‍්‍රස්තවාදයට එරෙහිව ලෝක යුද්ධය ට GWOT නම් අසාර්ථක ප‍්‍රතිපත්තිය වෙනුවට COIN නමින් හඳුන්වන කැරළිකාරීත්වයන් මර්දනය කිරීම නම් විකල්ප ප‍්‍රතිපත්තිය ඉදිරියට ඵ්ම.

මේ සමඟම දේශපාලන දාම් පෙතේ සිටින සමහර ඉත්තන් දැනට සිටින ස්ථානවලින් ඉවත් වී අප සිහිනෙන්වත් නොසිතූ නොපැතූ ස්ථානයන්හි ස්ථානගත වීමට නියමිතය. මේ ඉතින් කවුරුන්ද යන්න කීමට අපි දැනට ඉක්මන් නොවෙමු.

අවසන් වශයෙන් කිව යුත්තේ, ප‍්‍රභාකරන් නැමැති සාධකය ඉවත් කර ගණන නිවැරදිව සෑදීමට අප කෙතෙක් උත්සාහ කළද අවසානයේදී තීරකයා බවට පත් වන්නේ ප‍්‍රභාකරන් නැමැති සාධකයම බවයි. දකුණේ ජීවත්වන අපි මේ කටුක සත්‍යය තේරුම් ගන්නේ කවදාද?

Back to HOME page

No comments: