Thursday, August 28, 2008

නීතිඥ කේ.එස්. රත්නවේල්

නීතිඥ කේ.එස්.රත්නවේල් මහතා මානව හිමිකම් උල්ලංනයවීම් වලට ලක්වන අය වෙනුවෙන් පෙනි සිටින ප‍්‍රකට නීතිඥවරයෙකි. මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයා බැලීමට පත්කල විශේෂ ජනාධිපති කොමිම් පරීක්ෂණයේදී ඔහු වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියි.

මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ වසර ගණනක අත්දැකීම් සහිත ඔබ මේ ක්ෂේත‍්‍රයේ වර්තමාන තත්වය දකින්නේ කොහොමද?
අද වෙනකොට කිසිම පුද්ගලයෙකුට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හැකියාවක් නැහැ. මානව හිමිකම් එතරම්ම පහළ තත්වයකට වැටී තිබෙනවා.

ඔබේ නිරීක්ෂණයන්ට අනුව එවැනි තත්වයක් ඇති වීමට බලපෑ හේතු මොනවාද?
හදිසි නීති රෙගුලාසි සහ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අද පොලීසියට සහ යුධ හමුදාවට දීල තියෙන බලය අභියෝගයකට ලක් කරන්න නොහැකිවීම මේකට ප‍්‍රධාන හේතුවක් විදිහට මම දකිනවා.

මේ ආකාරයට මානව හිමිකම් කඩ කිරීම් වලට ඇතැම් නීති මඟිනුත් ආරක්ෂාවක් ලැබෙන බව පෙනී යනවා නේද?
දැන් පවතින හදිසි නීති රෙගුලාසි සහ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ( PTA)යටතේ පොලීසියට යම් යම් බලතල ලබාදී තිබෙනවා. සාමාන්‍යයෙන් පොලීසිය ඉදිරිපිට කෙරෙන ප‍්‍රකාශයක් අධිකරණ සාක්ෂියක් ලෙස පිළිගන්නේ නැහැ. නමුත් මේ පනත සහ රෙගුලාසි යටතේ පොලීසිය ඉදිරිපිට කරන ප‍්‍රකාශයක් සාක්ෂියක් ලෙස පිළිගන්නවා. එතනදී පොලීසියට යම් පුද්ගලයෙකුට වදහිංසා කිරීීමට හෝ තර්ජනය කරලා එම ප‍්‍රකාශයන් ලබා ගන්න පුළුවන්. නමුත් ඊට එරෙහිව පියවරක් ගන්න උසාවියට කිසිඳු හැකියාවක් නැහැ.

පසුගිය කාල සීමාවේදී අභිරහස් ලෙස පුද්ගල අතුරුදහන්වීම් හා ඝාතන විශාල වශයෙන් සිදුවුනා. රටේ පවතින නීතියට සහ යහ පැවැත්මට එම තත්වය කෙතරම් දුරට බලපානවාද ?
මෙරට නීතිය අනුව යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා නම් ඒ සඳහා යම් නීතිමය පටිපාටියක් තියෙනවා. ඔහුට හෝ ඇයට විරුද්ධව චෝදනාවක්, පැමිණිල්ලක් තිබිය යුතුයි. එවිට පොලිසියට අත්අඩංගුවට ගැනීම් කල හැකියි. නමුත් අද වන විට නීතිය නොතකා, හේතු නැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. මේවා සිදු කරන්න පොලිසියටත්, හමුදාවටත් දේශපාලන බලය හා දේශපාලඥයින්ගේ මෙහෙයවීම උපකාරී වෙනවා. ඒවා වලක්වන්න නීතිමය ප‍්‍රතිපාදන නැහැ. ඒනිසා මෙය බරපතල තත්වයක් විදිහට මම දකිනවා.

ලංකාවේ දැනට පවතින නීතිය අනුව පුද්ගලයන් අතුරුදහන් කරවීම අපරාධයක් ලෙස ඍජුව දක්වා නැහැ. එතනදී අතුරුදහන් කරවීම වෙනුවෙන් ගන්න පුලූවන් පියවර මොනවාද?
නීතිය තුළින් කරන්න පුළුවන් හබයාස් කෝපූස් නඩුවක් මහාධිකරණයේ හෝ අභියාචණාධිකරණයේ දැමීමයි. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පොලීසියේ හා හමුදාවේ පුද්ගලයින් නම් කළොත් පමණක් උසාවියෙන් සහනයක් ලබාගත හැකියි. නමුත් අද සාමාන්‍ය මිනිස්සුන්ට මෙම අතුරුදහන්කරවීම් කරන්නේ කවුද කියා සොයා ගැනීම අපහසුයි. ඔවුන් නිතරම පැමිණෙන්නේ නිළ ඇඳුම් රහිතව, මුහුණු ආවරණ දමාගෙන නිසා හඳුනාගැනීමට අපහසුයි. හඳුනා ගත්තත් ඊට එරෙහිව නීතිමය ප‍්‍රතිකර්මයක් යෙදීමට ඔවුන් බයයි. බොහෝ විට මෙම පැහැරගැනීම් හා අතුරුදහන්කරවීම් වලට සන්නද්ධ හමුදාවල අය සම්බන්ධයි.

අද රජයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින් නීතිය නොතකා කටයුතු කරනවා. ඔවුන්ට එරෙහිව අධිකරණ වරෙන්තු නිකුත් වුවද ඔවුන් උසාවියට ඉදිරිපත් නොකරන තත්වයක් දකින්න පුළුවන්.මෙමඟින් නීතිය සහ අධිකරණ තීන්දු අභියෝගයකට ලක්වෙනවා නේද ?
පොලීසිය නිවැරදිව පරීක්ෂණ සිදුකරලා ඒ පිළිබඳව උසාවියට දැනුම් දුන්නොත් උසාවියට යම් කි‍්‍රයාමාර්ගයන් ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස මර්වින් සිල්වා ඇමැතිවරයාට විරුද්ධව සාක්ෂි තියෙන බව නිවැරදිව සොයා බලා අධිකරණ වරෙන්තුවක් කලින් නිකුත් කලා. නමුත් පොලීසිය උසාවි නියෝගයට ගරු නොකර ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් වැලකී සිටියා. එතනදී විනිසුරුතුමා විසින් පොලීසිය විවේචනය කිරීම නිසා ඔවුන් මර්වින් සිල්වා ඇමැතිවරයාගේ නම සහ අනෙක් හතර දෙනාගේ නම් උසාවියට ලබා දුන්නා. නමුත් අද වනවිටත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඉදිරිපත් වෙලා නැහැ. (මෙම සම්මුඛ සාකච්ඡාව කරන අවස්ථාව වන විට ඇමතිවරයා අත්අඩංගුවට ගෙන නොතිබිණි.) මගේ අදහස නම් පරීක්ෂණ සිදුකරන ආයතන නිසි ලෙස තම රාජකාරිය ඉටු කරනවා නම් අධිකරණයට ගැටළුවකින් තොරව වරදකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකියි.

එහිදී අධිකරණය පොලීසියට දෙන නියෝගයක් ක‍්‍රියාත්මක නොකිරීම අධිකරණයට කරන අපහාසයක් නේද?
ඔව්. අධිකරණයට බලය තියෙනවා මෙවැනි පොලිස් නිළධාරීන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්න. නමුත් දේශපාලනඥයින් හෝ බලවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී අද වන විට අත්අඩංගුවට ගන්නා එම ඇතැම් පුද්ගලයින් රෝහල් ගත වීම හෝ රජයේ ගෙවන වාට්ටුවලට ඇතුල්වීම පුරුද්දක් කරගෙන තියෙනවා.

අධිකරණයට හැකියාව තියෙනවා නේද මේ සම්බන්ධයෙන් යම් ක‍්‍රියාමාර්ගයක් ගන්න?
ඔව්. බොහෝ විට සිදු වෙන්නේ මුදල් හෝ දේශපාලන බලය තියෙන අය අත්අඩංගුවට ගත්තම රෝහල් ගත වීම. නමුත් සාමාන්‍ය පුද්ගලයෙකු එවැනි අවස්ථාවක ඇත්තටම අසනීප වුනත් රෝහල් ගත වීමේ අවකාශයක් නැහැ. උදාහරණයක් කිව්වොත් ටෝනී ඇන්තනී ප‍්‍රනාන්දු උසාවියට අපහාස කළා යන චෝදනාව සම්බන්ධයෙන් සිරගත කළ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් තමාට පහර දුන්නා යැයි ඔහු පැමිණිල්ලක් කළා. එහිදී බන්ධනාගාර රෝහලේ සිටිද්දීම ඔහුව බලෙන්ම හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ගෙනාවා. නමුත් මහේස්ත‍්‍රාත්තුමා කිව්වා ඔහු පෙරට්ටුවකට මුහුණ දීමට තරම් හොඳ සෞඛ්‍ය තත්වයකින් නැති බව. මේ අනුව පේනවා සාමාන්‍ය අයට සහ දේශපාලන බලය තියෙන අයට දෙආකාරයකට නීතිය ක‍්‍රියාත්මක වෙන ආකාරය.

මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් පොලීසියට සහ හමුදාවට මේ කාලයේ දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා. ජනාධිපති පරික්ෂණ කොමිසමේදීත් මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් මූලිකවම චෝදනා එල්ල වුණේ පොලිසියට සහ හමුදාවට. ඔබ කොමිසමේ අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙක් වශයෙන් එම ආරක්ෂක අංශයන්ගේ ක‍්‍රියාකාරිත්වයන් දකින්නේ කොහොමද?
මෙම කොමිසම පත් කිරීමේ මූලිකම හේතුව ආරක්ෂක අංශ නිවැරදිව කටයුතු නොකිරීමය’. පරීක්ෂණ කටයුතු කිරීමේ වගකීම නිවැරදිව සිදු වුණා නම් මෙවැනි කොමිසමක් පත් කිරීම අනවශ්‍යයි. උදාහරණයක් කියනවා නම් ත‍්‍රිකුණාමලයේදී දෙමළ තරුණයන් පස් දෙනෙක් ඝාතනය කිරීම සහ මුතූර් හිදී සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් බවට පත් වූයේ සන්නද්ධ හමුදා සෙබළුන් පිරිසක්. මෙහිදී ඊට අදාළ පරීක්ෂණ කටයුතු කළෙත් මූතූර් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඔවුන් කිසිම අවස්ථාවක අදාළ පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදුකළේ නැහැ. ඊට හේතුව සැකකරුවන් ආරක්ෂක අංශ නිළධාරීන් වීමත්, මිය ගිය අය දෙමළ ජාතිකයන් වීමත්. මූතූර් පොලීසිය පිහිටලා තියෙන්නේ එම ඝාතනයන් සිදුවූ ස්ථානයට ආසන්නවයි. එතනදි පොලීසිය ප‍්‍රමුඛතා පිළිබඳ ගැටුමකට (conflict of interes t)ලක් වූ බව පේනවා. ඒ නිසා සැකකරුවන් ආරක්ෂා කිරීමක් සිදුවුණා. වාර්ගිකත්වය හා දේශපාලනය සම්බන්ධ නොවන අවස්ථා වලදී නිසි ලෙස පරීක්ෂණ සිදුකරන ආයතන, එම කරුණු දෙක බලපාන සිද්ධීන් වලදී තම රාජකාරිය හරියට කරන්නේ නැහැ. ඒ සඳහා නිසි මඟපෙන්වීමක් කිරීමට තරම් ආණ්ඩුවට නිසි දේශපාලන අභිලාශයක් ද නැහැ. ජාත්‍යන්තර ප‍්‍රජාව මේ බව පෙන්වා දෙන විට රජය එය විවේචනය කරනවා.

සමස්ථයක් ලෙස ගත්තොත් කොමිසමේ කටයුතු පිළිබඳව ඔබ සෑහීමකට පත්වෙනවාද ?
පැවතුණ තත්වයන්ට අනුව කොමිසම එයට කල හැකි දේ කලා. නමුත් රජයෙන්, ආරක්ෂක අංශ වලින් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් මීට වඩා සහයෝගයක් ලැබුණා නම් කොමිසමේ කටයුතු මීට වඩා සාර්ථක වෙන්න තිබුණා. කොමිසමට සහාය දක්වන නීතිපති දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර තලයේදී රජයේ ක‍්‍රියාමාර්ග ආරක්ෂා කිරීමට ද උපරිම උත්සාහ දරනවා. මෙහිදී ද නැවතත් ප‍්‍රමුඛතා පිළිබඳ ගැටුමක් (conflict of interest) දකින්නට ලැබෙනවා. ජාත්‍යන්තර ස්වාධින විද්වතුන්ගේ කණ්ඩායම (IIGEP) පවා ඔවුන් කොමිසමේ සිටියදී පෙන්වා දුන් කරුණ මෙයයි. ස්වාධීනත්වය පිළිබඳව කීර්තිමත් ඉතිහාසයක් හිමි නීතිපති දෙපාර්තමේන්තුවට තවදුරටත් තමන් ස්වාධීන යයි පැවසීමට නොහැකියි. මෙය ඉතා හොඳින් පෙනී යන සිදුවීමක් නම් ඔවුන්ට මෑතකදී ජනාධිපති මැඳුරට ආරාධනා කර ඔවුන්ගේ කාර්යයන් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව ඔවුන්ට දේශනයක් ලබා දීමයි.

වර්ථමානයේ පවතින තත්වය යටතේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වැඩිම පීඩාවක් අත් විඳින්නේ දෙමළ ජනතාව.නමුත් ඒ සම්බන්ධයෙන් රජය දක්වන්නේ අවම මට්ටමේ සැලකිල්ලක්. මේ තත්වය ඔබ දකින්නේ කොහොමද?
මේක අද ඊයේ සිදු වුණ දෙයක් නෙවෙයි. සුළු ජාතීන්ට සිදුවෙන අපරාධ වලට එරෙහිව නීතිය බල ගැන්වීමේ දේශපාලන උවමනාවක් රජයට නැහැ. මෙහිදී රජයටත් ක‍්‍රියා කිරීමට සිදුවෙලා තියෙන්නේ විවිධ ආගමික සහ වෙනත් ආන්තික බලවේගයන්ගේ උවමනාවන්ට අනුවයි.

No comments: